උදා වූ සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා විසින් නිකුත් කර ඇති අලුත් අවුරුදු පණිවිඩය මෙසේය.
උදාවන අලුත් අවුරුද්ද, දුෂ්ට රාශියෙන් රට මුදා ගැනීමට අදිටන් කරගන්නා නිමිත්තක් කරගනිමු!
සිංහල සහ දෙමළ ජනතාව මහත් උත්සවාකාරයෙන් සමරනු ලබන අලුත් අවුරුද්ද 2021 අප්‍රේල් 14 දින උදාවෙයි. කොවිඩ් 19 වසංගත තත්වය තවමත් පහව නොගිය තත්වය තුළම වුවද ලාංකේය ජනතාවගෙන් වැඩිම පිරිසක් විසින් මහත් උත්සවාකාරයෙන් සමරනු ලබන මෙම සංස්කෘතික උත්සවය වෙනුවෙන් අපි සුභාශිංශන එක්කරනු කැමැත්තෙමු.
සාම්ප්‍රදායික ජ්‍යොතිෂය විශ්වාසය අනුව අලුත් අවුරුදු උදාව ලෙස සැලකෙන්නේ, සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට මාරු වෙමින් චක්‍රයක් සම්පූර්ණ කිරීමය. සෑම අතකින්ම අලුත් බව හා බැඳෙන බවට විශ්වාසය කෙරෙන නව අවුරුදු උත්සවය විසින් මෙරට ජනතාවට සාධනීය ලෙස බලපාන සමාජ සංසිද්ධියක් නිර්මාණය කරනු ලබයි. නිවසේ ඇති ද්‍රව්‍යවල සිට පුද්ගල ජීවිතයේද පවත්වාගෙන පැමිණි අනවශ්‍ය දෑ ඉවත් කර නැවුම් බවකින් පුරවා ගැනීමට මෙන්ම මෙතෙක් තමන් ආ ගමන දෙස අලුතින් සිතා බැලීමටද එය විසින් ජනතාවට ඉඩකඩ ලබාදෙයි.
2021 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවන්නේ, ශ්‍රී ලංකාව පමණක් නොව මුළු මහත් ලෝකයම කොරෝනා වෛරසයට මුහුණ දීමෙන් පසුව එළඹෙන දෙවන අවුරුදු කාලය ලෙසය. රෝගය තවමත් සමාජයේ පවතින මෙම අභියෝගකාරී වාතාවරණයක් තුළ සාම්ප්‍රදායික අලුත් අවුරුදු උත්සවවලින් ඔබ්බට යමින් සෞඛ්‍යාරක්ෂිතව අවුරුදු සැමරීමට සිදුව ඇති බවට සැකයක් නැත. එහි තේරුම කොවිඩ් 19ට එරෙහිව ප්‍රමාණවත් තරම් එන්නත්කරණයක් සිදු නොවූ රටක අවුරුද්ද හා බැඳුණු සියලු ක්‍රියාකාරකම් පවුලේ සාමාජිකයන්ට හා සමීපතමයන්ට සීමා කර ගනිමින් පවත්වා ගැනීමට සිදුව ඇති බව තේරුම් ගැනීමය.
අනෙක් අතට දිනෙන් දින දුෂ්කර වෙමින් පවතින ආර්ථික වාතාවරණය තුළ ජීවිතය පවත්වා ගැනීම දිනෙන් දින අභියෝගයක් බවට පත්වෙමින් යද්දී අතිමහත් ජනතාවකට අවුරුදු සැමරීම පිළිබඳව සිතීම පවා වේදනාකාරී අත්දැකීමක් විය හැකිය. මන්ද පසුගිය වසර 73ක කාලය පුරාවටම ශ්‍රී ලංකාවේ පැවති ආණ්ඩු මෙන්ම වත්මන් ආණ්ඩුවද ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් සැපිරීමට, ජනතාවගේ ගැටලු විසඳීමේලා දැක්වූ අසමත්කම තවත් වසරකින් දිගු වී ඇති නිසාය. සුපුරුදු ලෙස නව බලාපොරොත්තු මැද උදා වන නව වසර, පරණ අවුරුද්ද බවට පත් වී ජනතාවගේ අපේක්‍ෂා බිඳ දමමින් ගතවී යයි. මෙසේ වී ඇත්තේ පැවති හා පවතින ආණ්ඩු විසින් ලාංකේය සමාජය ජනතා අපේක්ෂා සුන් කරන එකම දුෂ්ට චක්‍රයක ගමන් කරවීම නිසාය. රටත් ජනතාවත් මෙතරම් ආර්ථික හා සමාජීය වශයෙන් පීඩාවට පත්වීමට මෙම පාලනයන්හි දායකත්වය කිසිවෙකුටත් ප්‍රතික්‍ෂේප කළ නොහැක. අවම වශයෙන් ජනතාවට වස විෂෙන් තොර ආහාර වේලක් ලබා දීමට පවා මෙම ආණ්ඩු අද වන විට අසමත් වී තිබේ. මෙම තත්වය කෙතරම් කණගාටුදායකද යත් අවුරුද්ද හා බැඳුණු ආහාර සංස්කෘතියේ අනිවාර්ය අංගයක් වන පොල්තෙල් පවා පිළිකාකාරකවලින් තොර බවට සහතිකයක් ලබා දීමට ආණ්ඩුවට හැකියාවක් නැත.
මෙවැනි තත්වයක් තුළ චක්‍රයක් සම්පූර්ණ කරමින් උදාවන අලුත් අවුරුද්ද, දුෂ්ට රාශියෙන් රට මුදා ගෙන ජනතාවගේ ගැටලු සැබෑවටම විසඳන නව චක්‍රයක් දක්වා ගමන් කරවීමට අදිටන් කරගන්නා නිමිත්තක් කර ගත යුතුව තිබේ. මෙතෙක් රට විනාශකාරී ගමනක රැගෙන ආ නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමය හැරෙන්නට ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා වන විකල්ප ආර්ථික උපායමාර්ගයක් මෙම පාලකයින්ට නැත. ඔවුන් දවස ගෙවා ගැනීමේ තාවකාලික විසඳුම් සොයන්නේ රාජ්‍ය දේපළ, ස්වභාවික සම්පත් විදේශයන්ට හා විදේශීය සමාගම්වලට විකිණීමෙනි; පරිසරය බිල්ලට දීමෙනි; විදේශයන්ගෙන් ලැබෙන ණය හා ප්‍රදාන කොල්ලකෑමෙනි.
මෙම සමාජ ආර්ථික ක්‍රමයෙන් ඉතාම ඉක්මණින් බැහැර විය යුතු බවටත් වඩා මානුෂීය හා පාරිසරික බැඳීම් ඇති සාධාරණ සමාජයක් වෙතට ඉක්මණින්ම මාරු විය යුතු බවටත් පවතින අසාර්ථක සමාජ ආර්ථික දේශපාලන ක්‍රමය විසින් අපට බල කරනු ලැබ ඇත. මෙවැනි වටපිටාවක සෑම ක්ෂේත්‍රයකම අලුත් බව අපේක්ෂා කරන අලුත් අවුරුද්ද විසින් අපට යෝජනා කරන අලුත් බවට, නව සමාජ ආර්ථික ක්‍රමයක් ගොඩනගා ගැනීම පිළිබඳ බලාපොරොත්තුවද එකතු විය යුතුයැයි අපි සිතමු. විශේෂයෙන් රටේ වසර 73ක අසාර්ථක ගමනද වත්මන් ආණ්ඩුවේ අසමත්භාවයද ඒ පිළිබඳව විවේක මනසින් සිතා බලන්නට ජනතාවට අවස්ථාව විවර කර දී ඇත.
අලුත් අවුරුද්ද සැබැවින්ම සුබ වීමට අවශ්‍ය වනුයේ බහුතර ජනතාවක් විසින් තමන් එතෙක් වැළඳ ගෙන සිටි ජරාජීර්ණ ආකල්පවලින් මිදී නව ගමනක් යාමට නව අධිෂ්ඨානයක් කුළු ගන්වා ගැනීමය. එසේම රටත් ජනතාවත් සැබෑ ජයග්‍රහණ කරා රැගෙන යන සහ නව සමාජයක් ගොඩනඟන නව දේශපාලන ගමනක් වෙනුවෙන් පෙළගැසීමට එළඹෙන අලුත් අවුරුද්ද නව ජවයක් කර ගනු ඇතැයිද එකම ලාංකේය ජාතියක් බවට ගොඩනැගෙන ජාතික සමගියේ නිමිත්තක් බවට ජනතාව විසින් එය පත්කරගනු ඇතැයිද අපි බලාපොරොත්තු වෙමු.
ANGLICAN PONYL · 208 weeks ago
How their YAHAPALANAYA destroyed SL agriculture allowing re export everything enriching few of their BUMCHUM companies? Now they started preaching to people again saving the country. I thing correct speech should be on " HOW TO SAVE SRI LANKA FROM JVP"
Next time if anyone think of voting these KALAKANNI ask your self the question What JVP has done to SL last five decades??????????????????????
Sam · 207 weeks ago